Monday, August 3, 2020
යුගාන්තය - මාටින් වික්‍රමසිංහ
ඩවුන්ලෝඩ්
වික්‍රමසිංහයන්ගේ නිර්මාණයන්හි කාන්තාව
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මුලින්ම ලියූ නවකතා වශයෙන් සැලකෙන ලීලා, සෝමා සහ අයිරාංගනී නවකතාවන්හිදී නාගරික සමාජයන්හි බාහිර ඔපය විවේචනයට ලක් කළේය. නාගරික තරුණිය හා ගැමි තරුණිය සන්සන්දනය කළ වික්‍රමසිංහයන් ගම්බද තරුණිය නිසර්ගයෙන්ම යහපත් බව පෙන්වා දෙන්නට උත්සාහ කළේ ඩබ්ලිව්. ඒ. සිල්වා ලේඛකයන්ගේ අදහස්‌වලට සමාන කම් කියාපාමිනි. 'ලීලා' නවකතාවෙහි ශාස්‌ත්‍රීය දේශන මෙන්ම සදාචාරය පිළිබඳ ලිපි දකින්නට ලැබේ. එහි ප්‍රස්‌තාවනාව ලියන වික්‍රමසිංහයන් 'මෙය රාග නිශ්‍රිත ප්‍රබන්ධ කතාවක් නොවේය යනු අප අදහසයි' යනුවෙන් සඳහන් කර ඇත. මෙම නවකතාවේ කතා නායිකාව වන ලීලා යහපත් කාන්තාවකි. ඇය නොකැළැල් චරිත ඇත්තියකි. 'සෝමා' නවකතාවෙන් වික්‍රමසිංහයන් පාඨකයාට දෙන අදහස වන්නේ යහපත් තරුණයකු හා විවාහවීමට ප්‍රාර්ථනා කරන කාන්තාව පතිවත රකින, හොඳ චරිතයක් ඇත්තියක වීමට ඉටා ගත යුතු බවයි. සෝමා එසේ කටයුතු කරන තරුණියකි. සෝමා පාරම්පරික ගුණධර්ම අනුව හැදුණු වැඩුණු සුචරිතවාදී කාන්තාවකි. ස්‌ත්‍රියගේ පිරිසිදු බව ලෝකයේ කවීන්ගේ හා තවුසන්ගේ ද අඥානයන්ගේ හා අධමයන්ගේ ද සිත් ගන්නා ලද ගුණ දහමක් බවත්, පිරිසිදු බව ස්‌ත්‍රිය විසින්ම රැකගෙන එන මිණිරුවණක් බවත් කතුවරයා 'සෝමා' නවකතාවේ සඳහන් කරයි. 'අයිරාංගනී' නවකතාවේදී කතුවරයා ක්‍රමයෙන් වෙනස්‌වන බව ප්‍රකට කරයි.
ස්‌ත්‍රිය පතිදම් රැකීමටවත්, පිරිසිදුබව රැකීමටවත් අදහස්‌කොට නොමවන ලද්දීය. ඊට අමුතු ශක්‌තියක් ස්‌වභාවධර්මය විසින් හෝ ඉසුරකු විසින් හෝ දුබල අය තුළ ප්‍රතිකේෂ නොකරන ලද්දේය. පිරිසිදු බව රැකීමත්, පතිදම් රැකීමත් ජන සමාජය විසින් ඇයගේ දුබලකම ගැන නොසලකා ඈ කෙරෙහි පවරන ලද යුතුකම් වෙති' (අයිරාංගනී)
ස්‌ත්‍රිය උත්පත්තියෙන් දුර්වල බවත්, පිරිසිදුකම වැනි ගුණධර්ම ආරක්‌ෂා කිරීම සමාජය ඇය වෙත පැවරූ දේ බවත් කර්තෘ කියයි. සදාචාර ගුණ ධර්ම රැකීම මිනිසා විසින් ස්‌ත්‍රියගේ යුතුකමක් කිරීමේ විපාකයක්‌ය යන මතය ගෙන දක්‌වන්නට කර්තෘ දරන උත්සාහය මින් පෙනෙයි.
මාර්ටින් වික්‍රමසිංහයන් අනතුරුව ලියූ 'මිරිඟු=ව' නවකතාවේ 'මොලී' නම් කාන්තා චරිතය කියෑවීමේදී මොලීට ගැමි සමාජයේදී ගුණ දහම් රැකගැනීමට කුලවත් ගැමි කාන්තාවන්ට පිහිට වන කුලදහම් නැතිකම නිසා විපතට පත් වූ බව කියෑවෙයි. 'සීතා' ඉහත නවකතා තුනටම වඩා ඉදිරියෙන් සිටින නවකතාවක් බව මහාචාර්ය සරච්චන්ද්‍රයන් සඳහන් කොට ඇත. 'සීතාගේ චරිත වර්ණනාව වනාහි, පසුව ලියෑවුණු ගම්පෙරළියෙන් එන නන්දාගේ චරිත වර්ණනාවෙහි කටු සටහනක් සේ පෙනේ' යෑයි සරච්චන්ද්‍රයෝ සඳහන් කරති.
'මිරිඟු=ව' නවකතාවේදී 'මොලී' දරුණු ආපදාවන්ට ගොදුරුවන්නේ, දුක්‌බර මරණයකට පත් වන්නේ ඇය ගුණ දහම් රැකගැනීමට උත්සාහ නොකළ නිසාය. එහෙත් 'මිරිඟු=ව' නවකතාව අනාගතයට පෙර ලකුණු කියූ බව පැහැදිලිය. යුගාන්තය, කලියුගය යන නවකතාවල දැක්‌වෙන සමාජ විවරණය හා කාන්තාව පිළිබඳ කරුණු සඳහන් කිරීමේ විලාසයෙහි වෙනස් බවක් මෙම නවකතාවල පෙනෙයි. වික්‍රමසිංහයන්ගේ පැසුණු බුද්ධිය මැනවින් ඉස්‌මතු වන්නේ 'ගම්පෙරළිය' නවකතාවෙනි. 'ගම්පෙරළිය' අගහිඟකමින් මිරිකෙන කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ පවුලෙහි කතාවයි. ගැමි පරිසරයක හැදුණු වැඩුණු, කුල සිරිත් රැක ගැනීමට කුඩා කල සිට පුරුදු පුහුණු කරනු ලැබූ නන්දා, මේ සමාජයෙහි ජීවත්වන එක්‌තරා පැලැන්තියක කාන්තාවක් වුව ද, කාන්තාවට උරුම ගති ලක්‌ෂණ සුදු කළු වශයෙන් නොගෙන මිශ්‍ර වර්ණයක් දෙන්නට සමත් වූ චරිතයකි. නන්දා පියල්ගේ ප්‍රේමය ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. එය පැහැදිලි වන්නේ 'අම්මා කැමති නම් මාත් කැමතියි' කීමෙනි. 'කවුද උන්ට හිර දෙන්නේ' යි මාතර හාමිනේ අසන්නේ තවමත් ඇය වැඩවසම් සමාජයෙහි පුරුකක්‌ව සිටින බැවිනි. කුල සිරිත්වලින් බැඳ දමා තිබූ ගැමි සමාජය තුළ නන්දා මතුවන්නේ පියල් දුන් ලියුම් තුන අල්මාරිය තුළට විසිකිරීම තුළිනි. පියල් පිළිබඳ ඇගේ සිතෙහි උපන් හැඟීම තවදුරටත් රඳවා තබා ගැනීම එයින් සංඥා කරයි. පසුව එහෙත් පිරිහෙමින් සිටින නමුත් කුලවත් පවුලක පුතකු වන ජිනදාසට නන්දා විවාහ කරදීමත්, නන්දා එය ඉවසා දරා ගැනීමත් සාම්ප්‍රදායික සමාජයේ තරුණිය නිරූපණය කිරීමට කතුවරයා ගත් උත්සාහය පෙන්නුම් කරයි. සීතා, අයිරාංගනී වැනි නවකතාවලදී මෙන් කාන්තාව සංස්‌කෘතියෙහි හීලෑ කර තබන්නට ගම්පෙරළියේදී කතුවරයා කටයුතු කරන්නේ නැත. පියල් ද සහභාගි වූ පරගොඩ විහාරය බලා යන වන්දනා ගමනේදී නන්දාගේ සිත අපි විනිවිද දකිමු. එහිදී ජිනදාස හා තමාගේ සම්බන්ධය ද, ඊට පෙරාතුව පියල් වෙනුවෙන් තමාගේ සිතෙහි තිබූ අසාමාන්‍ය හැඟීම ද, ඇයට සිහිවෙයි. ජිනදාස පිළිබඳ සිතන සිතෙන්ම පියල් පිළිබඳ සිතිවිලි උපදියි. මෙහිදී කුල ගෞරවය ද නන්දාට පහසුවෙන් අමතක කර දැමිය හැකි නොවේ. ඈ තුළ මානසික විපර්යාසයක් ඇති වෙයි. නන්දා පමණක් නොව මාතර හාමිනේ ද පියල්ගේ සමාගම කැමැත්තෙන් ඉවසන්නට පටන් ගනියි.
ගම්පෙරළිය නවකතාවේ නන්දා, මාතර හාමිනේ හා අනුලා යන ප්‍රධාන චරිත තුනම ලේඛකයා, ඉන්පෙර ලියූ නවකතාවන්හි ප්‍රධාන කාන්තා චරිත ඉක්‌මවා සමාජ යථාර්ථය අවබෝධ කරගත් චරිත ලෙස ඉස්‌මතු වෙයි. අනුලා තවදුරටත්, ස්‌ත්‍රීන් විෂයෙහි සමාජය විසින් පිනවනු ලැබ ඇති නීතිරීති, රෙගුලාසි හා සම්මතයන් පිළිගන්නියක නොවන බව ඇය ඇගේ කතාවෙන්ද, සැඟවුණු යම් ක්‍රියාවලින් ද පෙන්නුම් කරයි. නන්දා, පියල් හා විවාහයට කැමති වීම කුලගර්වයෙන් හිස උදුම්මාගත් මාතර හාමිනේගේ චරිතය ද ඉන් ගොඩගැනීමක් වැන්න. පියල්ගේ මවගේ චරිතය මේ චරිත අතරෙහි ප්‍රබලව නැගී සිටින්නේ කාන්තාව සියලුම සමාජ බැමි බිඳයැමට නොපැකිල ඉදිරිපත් වන බව පසක් කරමිනි. ඇය කයිසාරුවත්තේ පවුලට අභියෝග කරයි. කුලමානයෙන් හිස උදුම්මාගත් නන්දාට අභියෝග කරයි.
වෙනස් වන පරිසරයට අනුකූල වීම ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය යන නවකතා තුනටම පොදු ධර්මතාවකි. එක් අතකින් වැඩවසම් ක්‍රමය අභාවයට ගිය කල්හි ධනපතිවාදය මෙන්ම පන්ති භේදයද වර්¨ධනය විය. එක් පන්තියක් පමණක් ඉංගී්‍රසි අධ්‍යාපනය ලැබීමෙන් මේ පන්තිභේදය තවදුරටත් තහවුරු විය. ගරු බුහුමන් ලබා ගැනීමට ඉංගී්‍රසිය බොහෝ උපකාර විය. කලියුගය නවකතාවේදී පියල් හා නන්දා හඹා යන්නේ ඒ ලොව කරාය. මෙහිදී වික්‍රමසිංහයන් නන්දා කුල කාන්තාවක ලෙස කෝවක බහා තබාලන්නට උත්සාහ කරන්නේ නැත. පරිසරය වෙනස් වීම නැවැත්විය නොහැකි බව කතුවරයා කබලානගේ චරිතයෙන් පෙන්වා දුන්නේය. බුදුසමය හා සමාජ දර්ශනය කෘතියෙහි කතුවරයා රාගය හඳුන්වන ආකාරය විමර්ශනය කිරීම වටී.
'පිරිමියකු තුළ ස්‌ත්‍රියක නිසාද, ස්‌ත්‍රියක තුළ පිරිමියෙකු නිසාද උපදින ආසාව පමණක් නොවේ. වස්‌තුවට ආසා කිරීම රාගයයි. නිලතල ආදියටත්, ගරු නම්වලටත් ආසා කිරීම රාගයයි. මැති ඇමැතිකම්වලට ආසා කිරීම, ලොක්‌කන් වීමට, සමාජයෙහි ඉහළ තැනට නැගීමට ආසා කිරීම රාගයයි' (බුදු සමය හා සමාජ දර්ශනය)
යුගාන්තයෙහි අනෙකුත් පිරිමි චරිත මෙන්ම නාලිකා ද රාගයෙන් අන්ධ වන්නේ ඉහත සඳහන් ලෙසින් වස්‌තුවට, නිලතලයන්ට, ගරු නම්බුවලට, මැති ඇමැතිකම්වලට ආසා කිරීමේ රාගය නිසාය. එම රාගාදියට ස්‌ත්‍රී පුරුෂ භේදය බල නොපාන බව ඔහු පසක් කරවයි. ස්‌වකීය දරුවන් පිළිබඳව නන්දාගේ දියණිය වන නාලිකාගේ අදහස් ව්‍යර්ථ වූ හැටි යුගාන්තයෙන් නිරූපිතය. චමරි අභියෝගාත්මක කාන්තා චරිතයක් වූවාය. ඇය විවාහ වන්නේ සිය මව වන නාලිකා විසින් 'ගොඩේ මුදලාලි' යෑයි හඳුන්වනු ලබන තැනැත්තාගේ පුතු අරවින්ද සමගය. තම මව වූ නන්දාගේ අදහස්‌වලට නාලිකා විරුද්ධ වූ ලෙසින්ම චමරි ද නාලිකාගේ යෝජනාවලට විරුද්ධ වූවාය. කලියුගයෙහි හා යුගාන්තයෙහි නන්දා හා නාලිකා අතරත්, නාලිකා හා චමරි අතරත් විවාහය අරබයා ඇති වූ සංවාද දෙකක් සැසඳීම, කාන්තාව සිය කෘතින්හි නව මානයකට ගෙන යැම පිළිබඳ කතුවරයාගේ අභිප්‍රාය පෙන්වා දෙයි.
'හොඳයි උඹ බලාපොරොත්තු කවුරුවත් ඉන්නවද?'
'ඔව් අම්මා'
'කව්ද?'
'අරවින්ද'
'අරවින්ද දොස්‌තර . . . අර ගොඩේ මුදලාලිගෙ පුතා . . . පාන් පෙට්‌ටිය ඔළුව උඩ තියාගෙන ඇවිදලා පොහොසත් වුණු මිනිහෙක් එයාගෙ තාත්තා . . . '
'මාව බඳින්නෙ අරවින්ද මිසක එයාගේ තාත්තා නොවේ'(යුගාන්තය පරි. 15)
කලියුගයෙහි නන්දා හා නාලිකාගේ සංවාදය බලන්න.
'එයාගෙ තාත්තා මුඩුක්‌කුවක් ගානෙ ඇවිදපු මිනිහෙක් බව කවුරුත් දන්නවා'
'මම ඒ මොකුත් දන්නෙ නැහැ'
'සවිමන්ගෙ තාත්තා නපුරු මිනිහෙක්'
'මම ලියුම් ලිව්වෙ සවිමන්ට. එයාගෙ තාත්තාට නෙවි'
'උඹ ඕනෑවට වඩා පැහිලා තියෙනවා . . . සවිමන් නපුරු මිනිහෙකුගෙ පුතෙක්'
'පුතා එයා වගෙ නෙවි'
'තාත්තාගෙ ගති පුතාට පිහිටනවා'
'මමී කියන්නෙ ගොඩේ මිනිස්‌සුන්ගෙ අදහස්'
'කට වහගනින් . . . උඹ දන්නෙ කොහොමද ගොඩේ මිනිස්‌සුන්ගෙ කතා'
'මට කියාදුන්නෙ තිස්‌ස මාමා'
'ඒ පිස්‌සා තමයි උඹ නරක් කළේ'
(කලියුගය පරි. 14)
පරම්පරා තුනක ගැහැනු විවාහය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය මෙයින් පැහැදිලි වෙයි.
තේරී ගී ප්‍රස්‌තාවනාවෙහි වික්‍රමසිංහයන් මෙසේ කියයි.
'ථෙරි ගාථා ද දිළිඳුකම, ජීවිතය නමැති ණය හිමියා, ඉඳුරන් පිනවීම නිසා උපන් කලකිරීම යන මොවුන් විසින් පීඩා කරනු ලැබූ කතුන්ගේ නදින් නැගි දුක් සුසුම් නොව සොම්නස් සුසුම් වැන්න. තමන් විඳි දුක් පීඩා සිහිකිරීම නිසා හදින් නැඟුණු වේදනාව තැවීමෙන් ඔවුහු තමන්ගේ හද විරාගයට ගඳකිළියක් කළහ. එහෙයින් ඔවුන්ගේ හදින් නැඟී, කටින් පිටවූයේ ආන්නද ගීතයකි'(තේරි ගී ප්‍රස්‌තාවනාව)
වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාවේ සරෝජනී මෙන්ම බතීද අරවින්දගේ පිළිවෙත ඉදිරියේ දෙයාකාරයකින් ක්‍රියා කරන ස්‌ත්‍රීහු වෙති. මේනකා ඊට ද වඩා වෙනස් වෙසෙසි චරිතයකි. සරෝජනීsට අරවින්දගේ චරිතය වෙනස් කිරීමට හැකියාවක් තිබෙන්නට ඇත. කැරොල් බැලීමට පැමිණි දින අරවින්ද ඇය හා කතා කළේ මුදු මොළොක් හැඟීමෙනි. සරෝජනීs තම කැමැත්ත සෘජුව දන්වා අරවින්දට ලියුමක් එවුවාය. එහෙත් එයට සෘජුව මුහුණ දෙන්නට අරවින්දට නොහැකි විය. සරෝජනී සිරිදාස හා විවාහ වූයේ ඉන් අනතුරුවය. බතී, සරෝජනීට වඩා එඩිතර චරිතයක් විය.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුල් නවකතා තුනෙහි කාන්තාව ගතානුගතික, සදාචාර සම්පන්න, අවනත චරිත ලෙස නිර්මාණය කර ඇතද, පසුව ලියෑවුණු ඔහුගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය යන නවකතා තුනෙහි මෙන්ම විරාගයෙහිද වෙනස් ලෙසකින් හෙවත් ජීවමාන ලෙසින් කාන්තා චරිත නිරූපණය කොට ඇත. සම් මස් ලේ නහර ඇති චරිත ලෙස ප්‍රශ්න කරන චරිත ලෙස එම චරිත නිරූපණය කර ඇත. ථෙරි ගීතයන්හි සිටිනා තෙරණියන් තරමට සැබෑ හැඩතල ඇති චරිත අපට එම නවකතා තුළින් හමුවෙයි. නන්දා, අනුලා, මාතර හාමිනේ, නාලිකා, චමරි මෙන්ම බතී ද අප අතර තවමත් ජීවත් වන්නේ ඒ නිසාය. මේ චරිත අතරෙහි පවත්නා සමාජයට වැඩි අභියෝගයක් එල්ල කළේ බතී යෑයි සිතෙයි. එහෙත් නන්දා සිතන්නට බොහෝ දේ ඉතිරි කර කාන්තාවට මුහුණ දීමට සිදුවන අනේකවිධි දුක්‌ඛ දොමනස්‌සයන් පිළිබඳ මතකයක් ද ඉතිරි කොට තවමත් පාඨක අප අතරෙහි නිබඳ සැරිසරන්නීය.
සුමිත්‍රා රාහුබද්ද
ලේඛකාවකි
සාහිත්‍ය විචාරකයෙකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.