දීපවංශය







සිංහලේ දැනට පවතින වංසකතා මූලාශ්‍ර ග්‍රන්ථ අතර පැරණිතම කෘතිය ලෙස සැලකෙන්නේ දීපවංශයයි. මෙම වංසකථාව ක්‍රිස්තු පූර්ව හතරවන හෝ පස්වන සියවසේ රචනා වන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි. එනම් අදට වසර එක්දහස් හත්සියයකට පමණ පෙර රචිත දීපවංසය පාලි පද්‍ය කාව්‍ය ග්‍රන්ථයකි. දීපවංසය ථෙරවාද සම්ප්‍රදායේ ආදිතම වංසකථාව ලෙස වැදගත් තැනක් හිමිකරගන්නා අතරම ක්‍රිස්තු වර්ෂ 302 දක්වා දීපයේ දේශපාලන ඉතිහාසය සහ බුද්ධාගමේ දියුණුව ඉදිරිපත් කරන දැනට ශේෂව ඇති විශිෂ්ටතම සාහිත්‍යමය මූලාශ්‍රයක් ලෙස ද සැලකිය හැකිය.

දීපවංසයෙහි කර්තෘ අඥාත ය. එබැවින් ම විවිධ විද්වතුන් දීපවංසයෙහි කතෘත්වය පිළිබඳව විවිධ අදහස් හා මතවාද ප්‍රකාශ කොට ඇත. විශේෂයෙන්ම මහාචාර්ය ගුණපාල මලලසේස්කර මහතා ගේ අදහස වන්නේ ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ දී. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිමෙන් අනතුරුව එකී ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අග කොටසේ සඳහන් රාජනාමාවලිය ආශ්‍රිත කරගනිමින් වෙනම වංසකථා සාහිත්‍යයක් ලෙස දීපවංශය රචනා කිරීම සිදුකරන්නට ඇති බවය. එසේම දීපවංශය මුලින්ම සිංහලෙන් එනම් හෙළ බසින් රචනා කරන ලද බවත්, එය කර්තෘ මණ්ඩලයක් විසින් වරින් වර විවිධ කාලසීමාවන්හි රචනා කරන ලද ග්‍රන්ථ කොටස් හී එකතුවක් වූ බවත්, එනිසාම කතුවරයෙකුගේ නමක් සඳහන් නොවන බව ද මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. දීපවංශයේ එකම තැනක කරුණු පුනරුක්ති දෝෂයන්ගෙන් යුක්ත වීම සඳහා බලපෑ හේතු ඉදිරිපත් කරන එතුමා පෙන්වා දෙන්නේ විනය පිටකය, සුත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය තුළ එකම රජු පිළිබඳව සඳහන් වී තිබීමත්, ඒ තොරතුරු උපුටා ගැනීමේදී දීපවංසයේ කතෘවරුන් විසින් එකී තොරතුරු නිසි පරික්ෂාවකින් තොරව ඒ අයුරින් ම ඇතුළත් කිරිම සිදුවී ඇති බවත් ය.

දීපවංශයේ කතෘත්වය පිළිබඳව පවතින ව්‍යකුල තත්වය හේතුවෙන් ම එහි රචකයා හෝ රචනා කරන ලද කර්තෘ මණ්ඩලය කවර ගුරුකුලයකට අයත් ද, නොමැති නම් කවර ප්‍රදේශයක විසු අය ද යන්න පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි සාධක සොයා ගැනීමට අපොහොසත් වී ඇත. එහෙත් දීපවංශය තුළ වු භාෂා ව්‍යවහාරය හා වස්තු විෂය පදනම් කෝට ගනිමින් නිතැතින් ම භික්ෂූන් වහන්සේ නමක හෝ හින් වහන්සේ කිහිප නමක හෝ භික්ෂුණීන් වහන්සේ අතින් හෝ රචනා වන්නට ඇති බවට අනුමාන කළ හැකිය. විශේෂයෙන්ම මේ සඳහා මහා විහාරවාසී භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීම අනිවාර්යයෙන්ම පැවති බව සිතිය හැකිය. පාලි භාෂාව දැන උගත් මහාවිහාරවාසී 43 න් වහන්සේ විසින් දිවයින් වැදගත් සිදුවීම් වාර්තනා කර තැබීම පුරුදු වූ බව චුල්ලවග්ග විනය ග්‍රන්ථයේ ද දැක්වේ. ඒ අනුව යමිකිසි මට්ටමකට දීපවංශ රචනය ඉළ ද මහා විහාරයේ දායකත්වයක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.


තවද සිංහලේ භික්ෂුණි ශාසනය ආරම්භය ව්‍යාප්තිය පිළිබඳව ඉතා දීර්ඝ වූ විත්තර දීපවංසය තුළ අන්තර්ගත වීම නිසා විවිධ විද්වතුන් මෙය හත්ථාල්හක මෙහෙනවර තුළ
විසු මහා විහාර පරම්පරාවට අයත් මෙහෙණින් වහන්සේ නමක විසින් හෝ මෙහෙණින් වහන්සේ කිහිප නමක් විසින් රචනා කරන්නට ඇතැයි ද මතයක් පවතී.
කෙසේ නමුත් දීපවංශය පරිච්ඡේද 22 කින් යුත් කුඩා ග්‍රන්ථයකි. බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් දිනවකවානු සහිතව ඉදිරිපත් කිරීමට අමතරව ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් අනුපිළිවෙළින් ග්‍රන්ථාරූඪ කර තැබීම දීපවංශය පරිශීලනයේදී දැකගත හැකි සුවිශේෂී කාරණාවකි. විශේෂයෙන්ම දීපවංශයේ ආරම්භක ගාථාව ගත්තද ඒ තුළින් අන්තර්ගතය සම්බන්ධව යම්කිසි සංක්ෂිප්ත අදහසක් ඉස්මතු කරගත හැකිය.
දීපාගමන බුද්ධස්ස - ධාතු ච බෝධියාගමං සංගහගෙරවාදොච - දිපන්හි සාසනාගමං
නන්දාගමනං වංසං - කින්නයිස්ය සුනාථ ම
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය ද, සර්වඥ ධාතු සහ බෝධි ආගමනය ද, ආචාර්යවාද සංග්‍රහයද, ශ්‍රී ලංකාවට බුදු සසුන පැමිණීමද, ශ්‍රේෂ්ඨ රජවරුන් ගේ පැමිණීම සහ වීම පිළිබඳ පරම්පරා කථාව කියනෙමි. එය ශ්‍රවණය කරව්.) උක්ත දැක් වූ ගාථාව තුළින් දීපවංශ කතෘ ගේ නහැර දක්වන ඉතිහාසගත සන්දර්භයන් පැහැදිලි වෙයි. එපමණක් නොව අපේක්ෂිත අරමුණු සහ අන්තර්ගතය පිළිබඳව අවබෝධයක්ද දීපවංසය ආරම්භයේදීම දක්වා ඇත.

සුනාථ සබ්බේ පණිධාය මානසං
වංසං පවත්වාම් පරම්පරාගතං
අතිප්පසත්ථා බහුනාහි වණිනං
ඒතං හි නානා කුසුමංච ගන්ථතං

(ආචාර්ය පරම්පරාවෙන් පැවත ආවා වූ අතිශයින් පසස්නා ලද බොහෝ සෙයින් මනාව වර්ණනා කරන ලද විවිධ මල් වලින් ගෙතු මල් මාලාවක් වැනි වු ලක්දිව පිළිබඳ වංශ ප්‍රවෘත්තිය සත් පුරුෂයෙනි, තැන්පත් වු සිතින් ශ්‍රවණය කරන්න.)
සිංහලේ ආදි කාලීන ඉතිහාසය හැදෑරීම සඳහා දැනට පවතින ප්‍රාථමික මූලාශ්‍රයන් අතර ඉතා අනර්ඝ වූ මුලාශ්‍රයක්
ලෙස සැලකෙන දීපවංශය තුළ දිවයින්නේ පිහිටීම, දිවයින්නේ ස්වභාවික ලක්ෂණ, දිවයිනේ මුල් පදිංචිකරුවන් එනම් විජයාවතරණයට පෙර සිංහලේ විසූ මානවයින් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත වේ. බොහෝ ඓතිහාසික කරුණු
සංස්කරණය නොකොට ඒ අයුරින්ම ඉදිරිපත් කර ඇති බැවින් දීපවංශය තුළ අන්තර්ගත වන බොහෝ කරුණු වල විශ්වාසනීයත්වය හා සත්‍යතාවය පිළිබඳව සැකයක් ඇති නොවේ. මහාවංශය හා සසදන කල දීපවංසය වීර කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කර නොමැත. විශේෂයෙන්ම මහාවංසයේ දක්නට නො ලැබෙන සුවිශේෂී කරුණු කීපයක් දීපවංශයේ අන්තර්ගත වේ.

ඒ අතර පළමුවන ධර්ම සංඝායනාවේදී සූත්‍ර හා විනය, පිටක වශයෙන් වෙන් වෙන්ව ගෙන සංගායනා කළ පුවතත්, මහා සම්මත රාජ පරපුරට අයත් රජවරුන්ගේ නාමයන්, පණ්ඩුවාසුදේව රජුගේ පුතුන් දස දෙනාගේ නාමයන්, සංඝමිත්තා මෙහෙණිය සමග පැමිණි භික්ෂුණීන් වහන්ගේ නාමයන් දක්වා තිබීමත්, ශ්‍රී ලංකාව තුළ මෙහෙණි සසුණේ ව්‍යාප්තියත් සංෂිප්තව නමුත් ඉතා වැදගත් ලෙස රචනා කොට තිබීමත් දැක්විය හැකිය.
දීපවංශයයේ 18 වන පරිච්ඡේදය සුපරික්ෂාකාරීව අධ්‍යනය කර බැලීමේදී, මෙරට මෙහෙණි සසුන පිළිබඳ තොරතුරු රැසක් ඒ තුළින් ලබාගත හැකිය. මෙලෙස භික්ෂුණී ශාසනය සම්බන්ධව තොරතුරු අන්තර්ගත වීම නිසා දීපවංශයේ ඇතැම්
කොටස් භික්ෂුණීන් වහන්සේ විසින් ලියා ඇති බවටද මතයක් පවතී. සමස්තයක් ලෙස සලකා බලන විට දීපවංශය විවිධ භාෂා ශෛලීගෙන්ද යුක්ත වන අතර වියරණ විධි රැසක්ද එහි දක්න ට ලැබේ. දීපවංශයේ ඇතැම්විට පුනරුක්ති දෝෂ ද දක්නට ලැබේ. එනම් එකම කරුණ ස්ථාන දෙකක දෙයාකාරව සඳහන් වන අවස්ථාද ඇත. උදාහරණයක් වශයෙන් රුවන්වැලිසෑය දුට්ඨ ගාමිණී අභය රජු විසින් ඉදි කළ බව දීපවංශයේ එක් තැනක සඳහන් වුවත් තවත් තැනක එය සද්ධාතිස්ස රජු විසින් ඉදිකළ බව සඳහන් වේ. ඒ ආකාරයටම ලෝවාමහාපාය ද, දුට්ඨ ගාමිණී අභය රජු ඉදිකළ බවත්, එසේ සද්ධාතිස්ස රජු ඉදිකළ බවත් දෙතැනක සඳහන් වේ. මේ කරුණු අනුව දීපවංශය කතුවරුන් කිහිපදෙනකු විසින් විවිධ කාල වකවානුවල දී ලියන ලද කොටස් එකිනෙක සම්බන්ධ කරමින් සකස් කළ ග්‍රන්ථයක් බවට ඉදිරිපත් වී ඇති මතය සනාථ වේ.
දීපවංශයේ එන ඇතැම් තොරතුරු හා සමග මහාවංසයේ එන තොරතුරු එකිනෙක ගැටෙන අවස්ථාද නැතුවාම නොවේ. විශේෂයෙන්ම ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස දීපවංශය ගත්විට එහි එන තොරතුරු බොහොමයක් අපක්ෂපාතීව හා සමබර, ව ඉදිරිපත් කිරීමට උත්සාහ ගත් බව පෙනේ, විජයාවතරණය සම්බන්ධව මහාවංශය ඉදිරිපත් කරන වාර්තාවට අසමාන ස්වරූපයක් දීපවංසය තුළින් විද්‍යමාන වෙයි දීපවංශයේ විජයාවතරණය හා සම්බන්ධව ගෙනෙන තොරතුරු බොහෝවිට සැසඳෙන්නේ දිව්‍යවදානය හා ජාතක පාලියට අයත් වලාහස්ස ජාතකයේ එන තොරතුරු සමග ය. එසේම මහාවංසයේ 1 දුට්ඨ ගාමිණි අභය රාජ චරිතය විග්‍රහ කිරීමට පරිච්ඡේද 11ක් වෙන්කර ඇතත් දීපවංශයේ, සඳහා වෙන්කර ඇත්තේ ගාථා 13 ක් පමණි, මේ අනුව දීපවංස කතුවරයා කිසිදු රජ කෙනෙකුට විශේෂත්වයක් පළ නොකොට සමබර ලෙස ඔවුන්ගේ විස්තර ඉදිරිපත් කිරීමට උත්සුක වූ බව පෙනේ. එපමණක්ද නොව මහාවංශය 'මහා විහාර වංශය' ලෙසින් විග්‍රහයට බඳුන් වන්නේ ද ඒ තුළ මහා විහාරය සම්බන්ධව විශේෂ ඇල්මකින් යුතුව තොරතුරු වාර්තා කෙරෙන බැවිනි.
මෙරට එ ක්සත් කළ දුට්ඨ ගාමිණී අභය රජු සේ ඉතා වැදගත් සේවාවක් ඉටුකළ වලගම්බා රජු අභයගිරි විහාරයට පක්ෂපාතී වූ බැවින් ද, මහසෙන් රජු මහායාන භික්ෂුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ බැවින්ද ඔවුන් පිළිබඳව මහාවංස කතුවරයා වැඩි අවධානයක් යොමු කර නැත.
නමුත් මහාවංශයේ දක්නට ලැබෙන මෙම පක්ෂග්‍රාහී බව දීපවංසයේ දක්නට නොලැබේ.
දීපවංශයේ කතුවරයා සේන ගුත්තික වෙළෙඳ දෙබෑයන්ගේ කාල සීමාව වසර 12ක් ලෙසත් මහාවංසය තුළ එම කාල සීමාව වසර 22ක් ලෙසත් දක්වා ඇත. එසේම ලජ්ජිතිස්ස රජුගේ රාජ්‍ය කාලය වසර 9යි මාස 6ක් බව දීපවංශයේ දැක්වේ. නමුත් මහාවංසයේ එය වසර 19යි මාස 8 ක් ලෙස දක්වා ඇත. ඉතිහාසයේ නිවැරදිව අධ්‍යනය කිරීම යනු මූලාශ්‍රයන් නිවැරදිව හසුරුවමින් හා සංසන්දනාත්මක විග්‍රහයක යෙදෙමින් තාර්කිකව හා ශාස්ත්‍රීයව විශ්ලේෂණය කිරීමයි. ඒ අනුව අභිලේඛන (අචසටරචයහ) හා අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන කරුණු සමග සසඳා බැලීමෙන් පසු දීපවංශයේ දක්වා ඇති කාල සීමාවන් සියල්ල නිවැරදි බව වර්තමාන ඉතිහාසඥයන් පිළිගෙන ඇති බැවින් දීපවංශය වඩාත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව නිගමනය කළ හැකි වේ.

මුල්ම සිංහල අටුවා වල ඇතුළත් වූ ඓතිහාසිකව වැදගත් කරුණු සංෂිප්තව ඉදිරිපත් කිරීමට මහා විහාරවාසී භික්ෂූන් වහසේ හෝ භික්ෂූන් වහන්සේ විසින් ගන්නා ලද පළමු වෑයම ලෙස දීපවංසය හඳුන්වා දීමට හැකිය. ශ්‍රී සිංහලේ ඉතිහාසය සඳහා පමණක් නොව පැරණි ඉන්දියාවේ ඉතිහාසය ගොඩනඟා ගැනීම සඳහා ද අනර්ඝ වූ මුලාශ්‍රයක් ලෙස භාවිතා කළ දීපවංශය මෙරට ප්‍රාථමික මූලාශ්‍රයන් අතර ඉතා වටිනා මූලාශ්‍රයක් ලෙස සලකයි.

කේ.එම්.පී. අජුන මානගේ
පුරාවිද්‍යා විශේෂවේදී පුරාවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment

ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.